Tamil-SriLankaEnglish (UK)

නිතර අසන පැන

පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ නිතර ඇසෙන ගැටළු/ පැන විසඳුම්

පාරිසරික ගැටළු තක්සේරුකරණයේ ප්‍රයෝජනය කුමක් ද?

මෙය සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වාභාවික සහ සමාජයීය පරිසරයන්හි ඇති විය හැකි බලපෑම් පුරෝකථනය කිරීමේ ක්‍රමවේදයකි. පාරිසරික ගැටළු තක්සේරුණය මගින් ඍණාත්මක බලපෑම් අවම කිරීමට සහ ධනාත්මක බලපෑම් වර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත් කරනු ලැබේ. මෙමගින් ව්‍යාපාරිකයින් හට ස්ථිරසාර ආයෝජනයක් මෙන්ම ප්‍රජාව සඳහා ජීවත් විය හැකි ප්‍රශස්ත පරිසරයක් ද ලැබීම තහවුරු කරයි. වෙරළ තීරයේ සංවර්ධන කටයුතු සඳහා 1981 දී හඳුන්වා දුන් පාරිසරික බලපෑම් ඇගැයීම 1993 සිට ශ්‍රී ලංකාවේ ඕනෑම ලේඛනගත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනිවාර්ය කර තිබේ.

මාගේ ව්‍යාපෘති යෝජනාව පාරිසරික බලපෑම් ඇගැයීමට ලක් විය යුතු දැයි දැන ගන්නේ කෙසේ ද?

ඔබට මධ්‍යම පරිසර අධිකාරිය විමසීම හෝ 1993.06.24 දින අංක 772/22 දරන රජයේ ගැසට් නිවේදනය සහ 1995.08.23 දින අංක 859/14 දරන  රජයේ ගැසට් නිවේදනය පරිශීලනය කිරීම මගින් මේ සඳහා පිළිතුර ලබා ගත හැකි යි. මධ්‍යම පරිසර අධිකාරිය විමසීමේ දී ඔබට මූලික තොරතුරු ප්‍රශ්නාවලියක් සැපයෙනු ඇත. එමගින් ඔබගේ ව්‍යාපෘතිය පිළිබඳ තීරණයකට එළැඹීමට මධ්‍යම පරිසර අධිකාරියට හැකි වේ.

ව්‍යාපෘතිය පිහිටියේ වෙරළ තීරයේ නම් ඔබ විසින් ඇමතිය යුතු වන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තුමාවයි. ඉහළ මධ්‍ය ජල රේඛාවෙන් මීටර 300ක් ගොඩබිම දෙසටත් පහළ මධ්‍ය ජල රේඛාවෙන් කිලෝ මීටර 2ක් සමුද්‍රය දෙසටත් වන භූමි ප්‍රමාණය වෙරළ කලාපයට අයත් වේ.

ව්‍යාපෘතිය, ජාතික වන රක්ෂිතයක මායිමකට සැතපුමක් දුරින් පිහිටියේ නම් ඔබ විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇමතිය යුතු වේ.
පාරිසරික ගැටළු තක්සේරුණයට යටත් වන්නේ ලේඛනගත ව්‍යාපෘති පමණක් බව සැලකිය යුතුයි.

පාරිසරික බලපෑම් ඇගැයීමට යටත් වන ලේඛනගත ව්‍යාපෘති මොනවා ද?

පරිසරයට සැලකිය යුතු මට්ටමකින් බලපෑම් එල්ල කළ හැකි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ලේඛනගත ව්‍යාපෘති වලට අයත් වේ. මෙවැනි ව්‍යාපෘති කාණ්ඩ දෙකක් යටතේ ලේඛනගත කර තිබේ.

  1. වර්ගය සහ විශාලත්වය අනුව (මෙගා වොට් 25ට වැඩි ධාරිතාවෙන් යුත් තාප විදුලි බලාගාර, කාමර 99ට වැඩි හෝටල, කිලෝ මීටර 10ට  වඩා දිගු අධි වේගී මාර්ග, සිමෙන්ති නිෂ්පාදන කම්හල්, හෙක්ටයාර 4ට වැඩි තෙත් බිම් සංවර්ධන වැඩ කටයුතු වැනි)

  2. ස්ථානය අනුව (ව්‍යාපෘතීන් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්, සංවේදී පරිසර පරිශ්‍ර - වනාන්තර සහ වනජීවී සංරක්ෂිත කලාප, ජල මාර්ග හෝ ජලාශ සංරක්ෂිත, පුරා විද්‍යාත්මක සංරක්ෂිත කලාප සහ පාංශු ඛාදනයට නතු වූ ප්‍රදේශ- තුළ පිහිටියේ නම්)

1993.06.24 දින අංක 772/22 දරන රජයේ ගැසට් නිවේදනය සහ 1995.08.23 දින අංක 859/14 දරන රජයේ ගැසට් නිවේදනය මගින් ලේඛනගත ව්‍යාපෘති දක්වා තිබේ.

මාගේ ව්‍යාපෘතිය සඳහා වන යෝජිත වැඩ බිම සංවේදී පරිසර පරිශ්‍රයක් තුළ පිහිටියේ දැයි දැන ගන්නේ කෙසේ ද?

මධ්‍යම පරිසර අධිකාරියේ පර්යේෂණ සහ විශේෂ ව්‍යාපෘති ඒකකය යටතේ ක්‍රියාත්මක වන භූඅවකාශමය තොරතුරු පද්ධති රසායනාගාරය මගින් යෝජිත වැඩ බිම සංවේදී පරිසර පරිශ්‍රයක් තුළ පිහිටියේ දැයි දැන ගැනීමට හැකි යි.

මාගේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් ඇගැයීම අරඹන්නේ කෙසේ ද?

මුලින්ම යෝජිත ව්‍යාපෘතිය ලේඛනගත ව්‍යාපෘති ගණයට වැටෙන්නේ දැයි සොයා ගත යුතුයි.

ඉන් අනතුරුව ව්‍යාපෘති යෝජකයා (ඔබ) විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධ මූලික තොරතුරු ලබා දිය යුතුයි. මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ඔබ වෙත ව්‍යාපෘතියේ මූලික තොරතුරු දැනුම් දීම සඳහා ආකෘති පත්‍රයක් ලබා දෙනු ඇත.

ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය, පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය පාලනය කරන පළාත් පාලන ආයතනය වේ. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතන ලෙස, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය දැක්විය හැකි යි.

මධ්‍යම පරිසර අධිකාරිය විසින්, ව්‍යාපෘතියේ මුලික තොරතුරු වලට අනුව ඊට ගැලපෙන ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය නම් කරනු ලැබේ. සීමාවන් හඳුනාගැනීමේ සහ නිර්ණය කිරීමේ රැස්වීම් එකක් හෝ කිහිපයක් පැවැත්වූ පසුව, ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය මගින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවට අදාල සම්බන්ධක තොරතුරු ලේඛනය පිළියෙළ කරනු ලැබේ. ව්‍යාපෘතිය ප්‍රමාණයෙන් සහ වැදගත්කමින් විශාල වන්නේ නම් ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් වැඩි දුර තොරතුරු ඉල්ලා සිටිනු ඇත.

මා විසින් ව්‍යාපෘතිය පිළිබඳ මූලික තොරතුරු ලබා දිය යුත්තේ කවර අවස්ථාවේ දී ද?වේ දී ද?

ව්‍යාපෘතිය පිළිබඳ අදහස් සංවර්ධනය වූ වහාම සහ ව්‍යාපෘතිය සඳහා වැඩ බිමක් තීරණය කළ වහාම මූලික තොරතුරු ලබා දිය යුතු වේ. ව්‍යාපෘති යෝජකයා විසින් පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට අදහස් කරන්නේ නම් ව්‍යාපෘතිය පිළිබඳ මූලික තොරතුරු ලබා දීමට සුදුසු කාලය එයයි. සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට සුදුසු කාලය වන තෙක් ව්‍යාපෘතිය පිළිබඳ මූලික තොරතුරු ලබා දීමට ප්‍රමාද වීම සුදුසු නොවේ.

පූර්ව පාරිසරික පරීක්ෂණය සහ පාරිසරික බලපෑම් ඇගැයීම අතර වෙනස කුමක් ද?

යෝජිත ව්‍යාපෘතිය මගින් පරිසරයට එල්ල වන බලපෑම් සාපේක්ෂව අඩු අගයක් ගන්නේ නම් අදාල ව්‍යාපෘතිය පිළිබඳව පූර්ව පාරිසරික පරීක්ෂණයක් සිදු කරන ලෙස ව්‍යාපෘති යෝජකයා වෙත දන්වනු ලැබේ. පූර්ව පාරිසරික පරීක්ෂණය සාපේක්ෂව කුඩා හා සරල පරීක්ෂණයකි. කෙසේ වෙතත් පරිසරයට එල්ල වන බලපෑම් සාපේක්ෂව වැඩි අගයක් ගන්නේ නම් අදාල ව්‍යාපෘතිය පිළිබඳව පාරිසරික බලපෑම් ඇගැයීමක් සිදු කරන ලෙස ව්‍යාපෘති යෝජකයා වෙත දන්වනු ලැබේ. පාරිසරික බලපෑම් ඇගැයීම වඩා විස්තරාත්මක සහ සංකීර්ණ අධ්‍යයනයකි.

පාරිසරික බලපෑම් ඇගැයීම සඳහා කොපමණ කාලයක් ගත වේ ද?

ව්‍යාපෘති යෝජකයා විසින් සියළු තොරතුරු සහිතව මූලික තොරතුරු වාර්තාව ඉදිරිපත් කර ඇති විට ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් වෙත අදාල ව්‍යාපෘති යෝජනාව සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් ඇගැයීම කිරීම සඳහා අනුමත කාලය කාර්යාලයීය දින 116කි. පූර්ව පාරිසරික පරීක්ෂණය සඳහා ගත වන කාලය සාපේක්ෂ වශයෙන් අඩු ය. කෙසේ වෙතත්, පාරිසරික ගැටළු තක්සේරුකරණ/ පූර්ව පාරිසරික පරීක්ෂණ වාර්තාව සම්පාදනය කිරීම සඳහා ගත වන කාලය නිර්ණය කර නොමැත. පූර්වාදර්ශ මගින් පැහැදිලි වන කරුණ නම්, ව්‍යාපෘතියේ ස්වභාව මත පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ගත වන කාලය මාස 3 සිට අවුරුද්දක කාලයක් අතර පරාසයේ පිහිටන බවයි.

පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව සම්පාදනය කරනු ලබන්නේ කා විසින් ද?

ව්‍යාපෘති යෝජකයා විසින් තෝරා ගනු ලබන උපදේශකයන් විසින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව සකස් කරනු ලැබේ. මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වූ උපදේශකයින් සහ උපදේශක ආයතන ලේඛනය මේ සඳහා උපයෝගී කර ගත හැකි යි. පාරිසරික ගැටළු තක්සේරුකරණ අධ්‍යයනය සිදු කිරීමට උපදේශක ආයතන වෙතින් ලංසු කැඳවීම සඳහා දැන්වීම් පල කිරීමට ද ඔබට හැකි යි. ව්‍යාපෘති යෝජකයා විසින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව කුමනාකාර වේ ද?

එය සාපේක්ෂ වශයෙන් කෙටි සහ සංක්ෂිප්ත ලේඛනයකි (පිටු 100ක පමණ). පහත දැක්වෙන කරුණු පිළිබඳ ව විස්තර කෙරෙමින් පහසුවෙන් තේරුම් ගත හැකි ලේඛන භාෂාවකින් සමන්විත විය යුතුයි.

  • යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධ සියළුම තොරතුරු ලේඛන

  • යෝජිත ව්‍යාපෘති වැඩ බිමෙහි පවතින පරිසරය පිළිබඳ විස්තර

  • යෝජිත ව්‍යාපෘතිය මගින් ඇති කෙරෙන ධනාත්මක සහ ඍණාත්මක බලපෑම්

  • පරිසරයට සිදු වන බලපෑම අවම කිරිම සඳහා වන යෝජිත පියවර

  • සාධාරණ විකල්ප ව්‍යාපෘතීන්

  • පරිසර දූෂණ පාලන/උපදේශක ක්‍රියාවලිය

මධ්‍යම පරිසර අධිකාරිය සතු පුස්තකාලයෙහි පාරිසරික බලපෑම් ඇගැයීම පිළිබඳ අතීත පූර්වාදර්ශ වාර්තා පරිශීලනය ට තබා තිබේ.

ව්‍යාපෘති යෝජකයා විසින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ කා වෙත ද?

යෝජිත ව්‍යාපෘතිය  සඳහා වන ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වෙත යි. ව්‍යාපෘති යෝජකයා විසින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාවෙහි නියමිත පිටපත් සංඛ්‍යාව ඉදිරිපත් කළ යුතු වේ. පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන් ම පිළියෙළ කර තිබිය යුතු වේ.

පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලියෙහි තීරණ ලබා දීම (පාරිසරික අනුමැතිය) සිදු කරනු ලබන්නේ කා විසින් ද?

ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසිනි. ව්‍යාපෘති අනුමැති කිරිමේ ආයතනය විසින් ස්වාධීන තාක්ෂණික අධ්‍යයන කමිටුවක් පත් කෙරෙන අතර, එම කමිටුව මගින් පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තාව අධ්‍යයනයට ලක් කර නිරීක්ෂණ ඉදිරිපත් කරනු ලැබේ. ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය විසින් මෙම නිරීක්ෂණ පදනම් කර ගනිමින් තීරණ වලට එළඹීම සිදු කරනු ලැබේ.

එසේම, ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනයක් මගින් ලබා දෙන තීරණයක් සඵලදායක වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ද අවශ්‍ය වේ.

අනුමැතිය කොපමණ කාලයක් සඳහා වලංගු වේ ද?

සාමාන්‍යයෙන් අනුමැතිය වලංගු වන කාලය වර්ෂ 3කි. ව්‍යාපෘති යෝජකයා විසින් වර්ෂ 3ක් ඇතුළත ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් නො කරන ලද්දේ නම් නැවතත් ව්‍යාපෘති අනුමත කිරිමේ ආයතනයක් වෙතින් අනුමැතිය අලුත් කරවා ගැනීම සිදු කළ යුතු වේ. අනුමැතිය ලබා දෙන ලේඛනයෙහි වලංගුතා කාලය දක්වනු ලැබේ.

ව්‍යාපෘති යෝජකයා, තීරණය සමග එකඟ නොවේ නම්?

ඔබට පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා/වරිය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි යි. ඔහු/ඇය විසින් ලබා දෙන තීරණය අවසාන තීරණය වේ.

ව්‍යාපෘති යෝජකින් විසින් පාරිසරික ගැටළු තක්සේරුකරණ අනුමැතිය ලබා ගත් පසු තවත් බලපත් ලබා ගත යුතු ද?

ඔව්.
යෝජිත වැඩ බිම සම්බන්ධයෙන් නෛතික බලය ඇති අදාල පළාත් පාලන ආයතන වෙතින් ව්‍යාපෘතිය සඳහා අනුමැතීන් ලබා ගත යුතු වේ. එහි දී තවත් බලපත් ලබා ගැනීම ට අවශ්‍ය වීමට ඉඩ තිබේ.පාරිසරික බලපෑම් ඇගැයීම මගින් ලැබෙන්නේ පාරිසරික අනුමැතිය පමණක් බව සැලකිල්ල ට ගත යුතුයි. පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ට එළඹීමට ප්‍රථම භූමිය සඳහා වන අනුමැතීන් අදාල ආයතන වෙතින් ලබා ගෙන තිබීම වැදගත් වේ.

අනුමැතිය ලබා ගැනිමට පෙර ව්‍යාපෘති යෝජකයා විසින් සිදු කළ හැකි ක්‍රියාකාරකම් මොනවා ද?

වැඩ බිමෙහි කිසිදු වෙනසක් සිදු නොවන ක්‍රියාකරකම් පමණකි. ව්‍යාපාති යෝජකයා විසින් මහජනතාව සහ යෝජිත ව්‍යාපෘතිය කෙරෙහි සැලකිල්ලක් දක්වන පාර්ශ්ව වෙත කෙරෙන දැනුම්වත් කිරීම්, විස්තර ඉදිරිපත් කිරීම් ආදිය සිදු කළ හැකි වේ. ඇත්ත වශයෙන් ම මේ සඳහා වෘත්තීයමය මහජන සම්බන්ධක නිලධාරීන් ගේ සේවය ලබා ගන්නා ලෙස ව්‍යාපෘති යෝජකයින් වෙත උපදෙස් ලබා දී දිරිගන්වනු ලැබේ.

භූමිය මැනීම සහ භූමි පරීක්ෂණ වැනි කටයුතු සිදු කිරිමට බාධාවක් නොමැත.

ව්‍යාපෘති යෝජකයෙකු හට පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය සම්බන්ධ වැඩි දුර තොරතුරු ලබාගත හැකි ස්ථාන මොනවා ද?

බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි  අංක 104 ස්ථානයේ පිහිටි මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර කළමනාකරණ සහ ඇගැයීම් අංශය වෙතිනි.

දුරකථන අංකය : 011-2872419, 011-2876643
ෆැක්ස් අංකය : 011-2872296

මධ්‍යම පරිසර අදිකාරියෙහි විකිණීමට තබා ඇති පහත සඳහන් ලේඛන ඔබට වැදගත් වේ.

  • පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 1 - ව්‍යාපෘති අනුමත කරන ආයතන සඳහා පොදු උපදෙස්
  • පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම සඳහා මාර්ගෝපදේශනය; අංක 2 - පාරිසරික සීමාවන් පවත්වා ගැනීම සඳහා පොදු උපදෙස්

මධ්‍යම පරිසර අධිකාරියේ සහ විශ්ව විද්‍යාල කිහිපයක ම පුස්තකාල සතුව පාරිසරික ගැටළු තක්සේරුකරණ ක්‍රියාවලියේ පසුබිම් තොරතුරු ඇතුළත් මනා ග්‍රන්ථ සංචිතයක් ඇත. පරිශිලනය සඳහා වන අතීත පාරිසරික ගැටළු තක්සේරුකරණ වාර්තා මධ්‍යම පරිසර අධිකාරියෙහි පුස්තකාලය සතුව ඇත.

  • අලුතින් ආරම්භ කරන ව්‍යාපෘති/කර්මාන්ත සඳහා වන පාරිසරික අවශ්‍යතා

  • කර්මාන්ත/ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා වන පාරිසරික අවශ්‍යතා

  • උපද්‍රවකාරී ද්‍රව්‍ය ආනයනය/අපනයනය සඳහා වන පාරිසරික අවශ්‍යතා

 

පාරිසරික නිර්දේශ සම්බන්ධයෙන් වන නිතර ඇසෙන ගැටළු සහ පිළිතුරු

පාරිසරික නිර්දේශයක වලංගු කාලය (අවශ්‍ය නම්) දීර්ඝ කර ගැනීමට හැකි ද?

ඔව්. හැකි යි.

මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාල පළාත් පළාත් පාලන ආයතනය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු වේ.

නිකුත් කරන ලද පාරිසරික නිර්දේශයක වලංගු කාලය කොපමණ වේ ද?

නිකුත් කරන ලද දිනයෙහි සිට වර්ෂයක කාලයක් සඳහා පාරිසරික නිර්දේශයක් වලංගු වේ. පාරිසරික නිර්දේශයෙහි එම වලංගු කාලය දක්වා ඇත.

පාරිසරික නිර්දේශ ක්‍රියාවලිය සඳහා කොපමණ ගෙවීමක් කළ යුතු ද?

ක්ෂේත්‍ර පරීක්ෂණය සඳහා පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු වේ. පවතින අවම ගාස්තුව රු. 3360/-ක් වන අතර වැඩිම ගාස්තුව රු. 11,200/-ක් වේ. (රාජ්‍ය බදු ඇතුළත්ව)

පාරිසරික නිර්දේශය ලබා ගන්නේ කෙසේ ද? ඒ සඳහා නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබේ ද?

ඔව්.
පාරිසරික නිර්දේශයක් ලබා ගැනීම් වැඩ පිළිවෙළ.

පාරිසරික නිර්දේශයක් ලබා ගත හැකි වන්නේ කුමන ස්ථානයකින් ද?

මධ්‍යම පරිසර අධිකාරියේ ඕනෑම පළාත් කාර්යාලයකින්.

කුමන කර්මාන්ත සඳහා පාරිසරික නිර්දේශ ලබා ගත යුතු වේ ද?

පාරිසරික බලපෑම් ඇගැයීම ට ලක් නොවන සියළුම ලේඛනගත කර්මාන්ත/ව්‍යාපෘති සඳහා පාරිසරික නිර්දේශ ලබා ගැනීම සුදුසු වේ. මෙමගින් ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවේ දී ම ඇතිවිය හැකි පාරිසරික ගැටළු හඳුනා ගැනීමට ත් එම ගැටළු වැළැක්වීම සඳහා වන පියවර ගැනීමට ත් අවස්ථාව සැලසේ. එසේම මෙමගින් ව්‍යාපෘතිය සක්‍රීයව ක්‍රියාත්මක වන කාලයෙහි දී එල්ල විය හැකි මහජන චෝදනා අඩු කර ගැනිමට ව්‍යාපෘති යෝජකයා හට ඉඩ ලැබේ.

පාරිසරික නිර්දේශයක් යනු කුමක් ද?

යම් කිසි යෝජිත ක්‍රියාවලියක්/කර්මාන්තයක් ස්ථාපනය කිරීමට/ආරම්භ කිරීමට පෙර එමගින් ඇති විය හැකි පාරිසරික බලපෑම් අවම කර ගැනීම සම්බන්ධයෙන් වන කොන්දේසි සඳහන් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලේඛනය/ලිපිය, පාරිසරික නිර්දේශය ලෙස හැඳින්වේ.

පරිසර ආරක්ෂණ බලපත්රය සම්බන්ධයෙන් නිතර ඇසෙන ගැටළු සහ පිළිතුරු

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රියාවලියෙහි ඇති ප්‍රයෝජන මොනවා ද?

මධ්‍යම පරිසර අධිකාරිය විසින් පණවා ඇති ප්‍රමිතීන් සහ කොන්දේසි වලට යටත් ව, අපජලය, අපද්‍රව්‍ය, දුම්/වායු/වාෂ්ප/හුමාලය, ශබ්ද/කම්පන පරිසරයට බැහැර කිරිම ට පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට අවසර ලැබේ. මෙමගින් කර්මාන්ත ක්‍රියාකාරකම් මගින් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය සහ විමෝචනයන් වළක්වා ගැනීමට හෝ අවම කිරීම ට පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකු ට හැකියාව ලැබේ.

අසල්වාසී මහජනතාව වෙතින් එල්ල විය හැකි විරෝධතා අඩු වීම.

කර්මාන්තය කෙරෙහි වන මහජන විශ්වාසය වර්ධනය කර ගැනීමට හැකි වන අතර, එහි කර්මාන්ත නිෂ්පාදනයන් විසින් විදේශීය ආයෝජකයින් හෝ ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීමට ඉඩ සැලසේ.

පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට තම කර්මාන්තයේ සහ ක්‍රියාවලියේ වැඩි දියුණු කිරීම් සඳහා අවශ්‍ය බැංකු ණය ලබා ගැනීමේ හැකියාව හිමි වේ.

පරිසරය සුරැකීමට සිදු කරන දායකත්වය අන්තර්ජාතික ප්‍රමිති තලයට ගෙන ඒම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට ISO ප්‍රමිති සහතිකය ලබා ගැනීම ට අවශ්‍ය කටයුතු සිදු කිරීමට වැඩි අවකාශ තිබේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අවලංගු වීමට/අත් හිටු වීමට සිදු වන හේතු මොනවා ද?

  • පරිසර ආරක්ෂණ බලපත්‍රයක් පහත දක්වා ඇති හේතු මත අවලංගු වීමට/අත් හිටු වීමට සිදු වේ.

  • බලපත්‍රයේ සඳහන් යම් ප්‍රමිතියක්, කොන්දේසියක් හෝ වාක්‍යයක් උල්ලංගණය කිරීම

  • බලපත්‍රය නිකුත් කළ පසු ස්වාභාවික හේතූන් හෝ වෙනත් කරුණු හේතුවෙන් ව්‍යාපෘතියට අදාල පරිසරය වෙනස් කම් වලට නතු වී තිබීම

  • බලපත්‍රය මගින් පැවරෙන බලය යටතේ තව දුරටත් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම් හෝ විමෝචනය කිරීම් සිදු කළ හොත් එමගින් පරිසරයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන වල ට බලපෑම් එල්ල වීම

පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීමේ දී පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු ද?

පරීක්ෂණ ගාස්තු ගෙවිය යුත්තේ පළමු පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා අයදුම් කරන අවස්ථාවේ දී පමණකි. එම නිසා බලපත්‍රය අලුත් කිරීමේ දී පරීක්ෂණ ගාස්තු ගෙවිය යුතු නොවේ. කෙසේ වෙතත් යම් අයදුම්කරුවෙකු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාල කිරීමේ අයදුම්පත ඉදිරිපත් කළ යුතු කාලය ඉක්මවා තිබේ නම් ඔහු/ඇය විසින් නව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා අයදුම් කළ යුතු වේ. එවැනි අවස්ථාවක දී ඔහු/ඇය විසින් පරීක්ෂණ ගාස්තු ද ගෙවිය යුතු වේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කරන්නේ කෙසේ ද?

  • පරිසර ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම.

  • පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනයට මාස 3කට පෙර

  • කර්මාන්ත ක්‍රියාවලියේ වෙනසක්/ අලුත් කිරීමක්/දීර්ඝ කිරීමක් සිදු කිරීමෙන් මාසයක් ඉක්ම යාම ට පෙර

  • පරිසර ආරක්ෂණ බලපත්‍ර අලුත් කිරීමේ අයදුම් පත් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් , පළාත් කාර්යාල වලින් සහ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගැනීම හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් බා ගත කිරීම සිදු කළ හැකි යි. www.cea.lk

පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව ගෙවිය යුත්තේ කවර අවස්ථාවේ දී ද?

බලය ලත් නිලධාරියා විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දීම සඳහා තීරණය ගෙන ඇති විට අදාල ව්‍යාපෘතිය සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීම සඳහා වන කොන්දේසි සකස් කර නීති අංශය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. නීති අංශයෙන් අනුමැතිය ලැබුණු පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා වන ගාස්තුව ගෙවන ලෙස අයදුම්කරුට ලිඛිතව දන්වනු ලැබේ. බලපත් ගාස්තුව ගෙවූ පසු බලය ලත් නිලධාරියාගේ අත්සන සහිතව පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරනු ලැබේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රය සඳහා වන ගාස්තු සහ වලංගුතා කාල සීමාවන් මොනවා ද?

කර්මාන්ත වර්ගය

බලපත් ලබා දීම

නව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා හෝ යාවත්කාල කිරීමක් සඳහා ගාස්තුව (රු)

බලපත්‍රයේ උපරිම වලංගු කාලය

බලපත්‍ර නිකුත් කෙරෙන කර්මාන්ත ක්‍රියාවලීන් සංඛ්‍යාව

A

මධ්‍යම පරිසර අධිකාරිය මගින්

7500 *

වර්ෂ 01

80

B

මධ්‍යම පරිසර අධිකාරිය මගින්

6000 *

වර්ෂ 03

33

C

පළාත් පාලන ආයතන මගින්

4000

වර්ෂ 03

25

* මෙම ගාස්තුවට අමතරව VAT බදු 12%ක් සහ මුද්දර ගාස්තු 10%ක් ගෙවිය යුතු වේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ තීරණය ගනු ලබන්නේ කවුරුන් විසින් ද?

පරීක්ෂණ නිලධාරීන්ගේ නිරීක්ෂණ සහ නිර්දේශ මත මධ්‍යම පරිසර අධිකාරියේ බලය ලත් නිලධාරියෙකු විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමේ තීරණය ගනු ලැබේ.

ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කෙරෙනුයේ කවුරුන් විසින් ද?

අයදුම්කරු සපයා ඇති තොරතුරු වල නිරවද්‍යතාව පරීක්ෂා කිරිම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අදාල නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කර ඔවුන්තේ නිර්දේශ සහිත වාර්තාවක් සකස් කරනු ලැබේ.

පරිසර ආරක්ෂණ බලපත්‍ර සඳහා අයදුම්කරණය සම්බන්ධ ගෙවීම්?

  • කර්මාන්ත හිමියා විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු මත පදනම් ව මධ්යගම පරිසර අධිකාරිය/ පළාත් හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් එම අයදුම්කරු ගෙවිය යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කරනු ලැබේ.

  • පරීක්ෂණ ගාස්තුව සඳහා වන අවමය රු. 3360/-කි (රාජ්‍ය බදු ඇතුළත්ව)

  • පරීක්ෂණ ගාස්තුව සඳහා වන උපරිමය රු. 11,200/- කි (රාජ්‍ය බදු ඇතුළත්ව)

පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවා ද?

  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය

  • අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත, බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්.)

  • අදාල ඉඩමෙහි මිනින්දෝරු සැලැස්මෙහි පිටපත

  • අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන වන නෛතික අවසරය (අනුකූලතා සහතිකය, අදාල පළාත් පාලන ආයතනය මගින් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය හෝ අනුමැතිය.)

  • විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ඉස්කාගාර නිෂ්පාදන, ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ කෙසේ ද?

මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය (www.cea.lk) වෙතින් පරිසර ආරක්ෂණ බලපත්‍ අයදුම්පතක් නොමිළේ ලබා ගත හැකි යි.

යම් කිසි යෝජිත කර්මාන්තයක්/ කර්මාන්ත න්‍රියාවලියක් ආරම්භ කිරීමට මාස 1 (එකක්) - දින 30 (තිහක්) ක කාලයක ට පෙර නිසි ලෙස සම්පූර්න කරන ලද පරිසර ආරක්ෂණ බලපත්‍ අයදුම්පත සහ අනෙකුත් ලේඛන අදාල ආයතනය වෙත ලබා දිය යුතු වේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගන්නේ කුමන ස්ථානයෙන් ද?

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනයෙහි සඳහන් පරිදි අ හා ආ කාණ්ඩ යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් කාර්යාලයකින් හෝ දිස්ත්‍රික් කාර්යාලයකින් සිදු කෙරේ.

ඇ කාණ්ඩය යටතේ වර්ගීකරණය කරන ලද කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම අදාල පළාත් පාලන ආයතනය මගින් සිදු කෙරේ. කර්මාන්තය පිහිටි ස්ථානය අයත් නගර සභා/ මහ නගර සභා/ ප්‍රාදේශීය සභා කාර්යාල මෙයට අයත් වේ. ජාතික පරිසර පනතෙහි 26 පරිච්ඡේදය යටතේ පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සතු බලය පළාත් පාලන ආයතන වෙත විමධ්‍යගත කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල පනතෙහි 17 පරිච්ඡේදය යටතේ ලියාපදිංචි යම් කර්මාන්තයක්/කර්මාන්ත ක්‍රියාවලියක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු වන්නේ කොළඹ 01, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයෝජන ප්‍රවර්ධන මණ්ඩල කාර්යාලයෙනි.

ලේඛනගත කර්මාන්ත ක්රිකයාකාරකම් මොනවා ද?

2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් ලේඛනයෙහි දක්වා ඇති පරිදි කර්මාන්ත වලින් පරිසර දූෂණය සිදුවිය හැකි ප්‍රමාණය මත පදනම්ව, A,ආ හා ඇ වශයෙන් කර්මාන්ත වර්ගීකරණය කර ඇත.සැලකිය යුතු ඉහළ මට්ටමකින් පරිසර දූෂණයට දායක වන කර්මාන්ත 80ක් අ කොටසෙහි දක්වා ඇති අතර, මධ්‍යම ප්‍රමාණයකින් පරිසර දූෂණය සිදු කරන කර්මාන්ත 33ක් ආ කොටසෙහි දක්වා ඇත. සුළු වශයෙන් පරිසර දූෂණයට දායක වන කර්මාන්ත 25ක් C කොටසෙහි ලේඛන ගත කර ඇත.

ලේඛනගත කර්මාන්ත 2008.01.25 දින අංක 1533/16 දරණ ගැසට් ලේඛනයෙහි ප්‍රකාශයට පත් කර තිබේ. ලේඛනගත කර්මාන්ත සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම නෛතික අවශ්‍යතාවකි.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුත්තේ කවුරුන් විසින් ද?

ජාතික පරිසර පනතෙහි රෙගුලාසි වලට අනුව ප්‍රකාශිත ප්‍රමිතීන් සහ උපමාන එපරිද්දෙන් ම පවත්වා ගැනීම සඳහා ලේඛනගත කර්මාන්ත/කර්මාන්ත ක්‍රියාකාරකම් සිදු කිරීමට පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමේ අරමුණු සහ ඉලක්ක මොනවා ද?

පරිසරයට බැහැර කෙරෙන අපජලය, අපද්‍රව්‍ය, දුම්, වායු, වාෂ්ප, ශබ්ද සහ කම්පන විමෝචනයන් පාලනය කිරීම සහ එමගින් ස්ථාවර පරිසරයක් පවත්වා ගැනීම.

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යනු කුමක් ද?

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් යනු 1980 අංක 47 දරන ජාතික පරිසර පනත යටතේ ලබා ගත යුතු රෙගුලාසිමය/ නෛතික ලියවිල්ලකි.

ජාතික පරිසර පනතේ 23- අ කොටස යටතේ විශේෂයෙන් දක්වා ඇති පරිදි පරිසර ආරක්ෂණ බලපත්‍රයකින් අවසර ලත් අවස්ථාවක හැර කිසිදු පුද්ගලයෙකු විසින් පනතේ විස්තර කර ඇති කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවිය යුතුය. එනම්, යම් කොන්දේසීන් මත කර්මාන්ත/ කර්මාන්ත ක්‍රියාකාරකම් සඳහා පරිසරයට අපජලය, අපද්‍රව්‍ය බැහැර කිරීමට ත්, දුම්/වායු/වාෂ්ප/හුමාලය හෝ අධික ශබ්ද/කම්පන විමෝචනය කිරීමට ත් පරිසර ආරක්ෂණ බලපත්‍ර ලාභියෙකුට නීතිමය අවසරය හිමි වේ.

Friday, 30 August 2013 12:55 අවසන් වර ට යාවත්කාල කළ දිනය

infoactsin

envposter-sin

  ReEBwaste

epayment

weerawilasin

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
පරිසර නියමුවන්ගේ දේශීය සංචාරය පසුගිය 23 වනදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2016 වර්ෂයේ... තවදුරටත් කියවන්න
“තිරසර ලංකා “ ජාතික ප්‍රදර්ශනය සාර්ථකව නිම විය තිරසාර සංවර්ධනයක් උදෙසා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන... තවදුරටත් කියවන්න
සනීපාරක්ෂක කසල පිරවුම් හතරක් 2020 දී කොරියානු රජයේ ආධාර යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කසල... තවදුරටත් කියවන්න
ජනාධිපති පරිසර සම්මාන- 2017 ජනාධිපති පරිසර සම්මාන- 2017 මධ්‍යම පරිසර... තවදුරටත් කියවන්න
ජගත් පරිසර දිනය - 2017 1972 දී පැවතී එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී ජගත් පරිසර දිනය... තවදුරටත් කියවන්න
තිරසර පාසල් ප්‍රවර්ධන වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම්... තවදුරටත් කියවන්න
“පිවිතුරු පිරිසරය පූජනීයයි” පොසොන් පාරිසරික සත්කාරය - 2017 මධ්‍යම පරිසර අධිකාරිය සමඟ අනුරාධපුර මහ නගර සභාව ඇතුළු... තවදුරටත් කියවන්න