Tamil-SriLankaEnglish (UK)

පරිසර ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය යනු 1988 අංක 56 සහ 2000 අංක 53 යන පනත් වලින් සංශෝධනය වූ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙහි ප්‍රතිපාදන යටතේ වන නීතිමය මෙවලමකි. පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්ත/ ක්‍රියාකාරකම් (නියමිත ක්‍රියාකාරකම්) ඒවායෙහි පරිසර දූෂණ විභවයේ ප්‍රමාණය අඩු වන පරාසය අනුව අ, ආ ,ඇ සහ ඈ වශයෙන් ලේඛන හතරකට වර්ග කර අංක 2264/18 සහ 2022.01.27 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. කර්මාන්ත/ ක්‍රියාකාරකම් 33ක් අ. ලේඛණයෙහිද ,71ක් ආ. ලේඛණයෙහිද, 56 ක් ඇ. ලේඛනයෙහිද, 39 ක් ඈ. ලේඛණයෙහිද අන්තර්ගත වේ.

මෙම නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම, ඒ සම්බන්ධ පසු විපරම් කිරීමඅළුත් කිරීම, නීතිමය කටයුතු ,පැමිණිලි විමර්ශනය ආදී සියළු කටයුතු සිදු කරන අදාල ආයතන පිලිබඳ තොරතුරු වගු අංක 01 හි දැක්වේ.

නියමිත කර්මාන්ත /ක්‍රියාකාරකම් වර්ගය

පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරන අදාල ආයතන

මධ්‍යම පරිසර අධිකාරියෙහි අදාල ප්‍රාදේශීය/ දිස්ත්‍රික් කාර්යාල හා  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

-          එම -

-          එම     -

අදාල පළාත් පාලන ආයතනය (මහනගරසභානගරසභා, ප්‍රාදේශීයසභා) හා  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

වගු අංක 01

සටහන: 2008.02.01 දිනැති අංක 1534/18 දරණ ගැසට් නිවේදනයේ දෙවන උපලේඛනයේ  ප්‍රකාශයට පත් කර ඇති නව පරිසර ආරක්ෂණ බලපත්‍ර හා අළුත් කිරීමට අදාල අයදුම්පත් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කරන වගු  අංක 01 හි සදහන් අදාල ආයතන වෙතින් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියේ ක්ෂණික සබැඳි යටතේ වන බාගත කිරීම් යනුවෙන් සඳහන් අනු පිටුවෙන්  බාගත කරගැනීම සිදු කළ හැකිය.

 

නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගැනීමෙන් කර්මාන්තකරුවන්ට හිමිවන ප්‍රතිලාභ

  • ජාතික ප්‍රමිති හා උපමාන වලට අනුකූලව බාහිර පරිසරයට අපද්‍රව්‍ය සහ විමෝචනයන් මුදා හැරීම මගින් සිදුවන පාරිසරික දූෂණය වැළැක්විම සහ පාලනය කිරීම තුලින් නීතිමය රැකවරණයක් ලැබීම.
  • වාතය, ජලය සහ භූමිය යන මාධ්‍යයන්ට මුදාහරින ද්‍රව්‍ය මගින් පරිසරයට සිදුවන බලපෑම අවම කරමින්, පරිසර හිතකාමී ප්‍රවේශයකට එලඹීමෙන්, කර්මාන්තයේ තිරසර පැවැත්ම තහවුරු වීම.
  • පරිසර දූෂණ පාලනය සඳහා තාක්ෂණික මාර්ගෝපදේශ ලබා ගැනීමට හැකිවීම.
  • අපද්‍රව්‍ය අවම කිරීමේ තාක්ෂණික ක්‍රමෝපායයන් තුලින්, ගුණාත්මකභාවය ඉහල පිවිතුරු හරිත නිෂ්පාදන බිහිකර, ජාත්‍යන්තර වෙළඳ පොල තරඟකාරීත්වයට සාර්ථකව මුහුන දීමේ හැකියාව ලැබීම.

ප්‍රමිති සහ උපමාණ

පරිසර දූෂණ විභවයක් සහිත සියළුම නියමිත කර්මාන්ත/ක්‍රියාකාරකමක්ම,

2022.01.27 දිනැති, අංක 2264/17 දරණ ගැසට් පත්‍රයෙහි දැක්වෙන ප්‍රමිති හා උපමාණ වලට අනුව අප ජලය ද,

2019.06.05 දිනැති, අංක 2126/36 දරණ ගැසට් පත්‍රයෙහි  දැක්වෙන ප්‍රමිති උපමානවලට අනුව වායු විමෝචන ද,

1997.04.30 දිනැති, අංක 973/7 දරණ ගැසට් පත්‍රයෙහි දැක්වෙන ප්‍රමිති උපමාන වලට අනුව ශබ්දය ද,

වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් යටතේ පරිසරයට නිකුත් කිරීම ජාතික පාරිසරික පණතේ 23 අ. වගන්තිය අනුව නීතිමය අවශ්‍යතාවයකි.

-තවද, 2017.09.01 දිනැති අංක 2034/33, 2034/34, 2034/35,2034/38 දරණ ගැසට් පත්‍රයන්හි සඳහන් ප්‍රමිති වලට අනුව ප්ලාස්ටික් නිශ්පාදන නිපදවීම හා එම දිනැති අංක 2034/36 දරණ ගැසට් පත්‍රයට අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය එලිමහනේ පිලිස්සීම තහනම් කර ඇති බැවින් එම නියෝගයන්ට අනුව කටයුතු කිරීමද නීතිමය අවශ්‍යතාවයකි.

-එමෙන්ම, නියමිත කර්මාන්ත/ක්‍රියාකාරකම් වලට සම්බන්ධ යන්ත්‍රසුත්‍ර ක්‍රියාත්මක කිරීම හා පිපිරුම් මඟින් හටගන්නා භූමිකම්පන හා වායුගෝලීය පිපිරුම් අධිපීඩන 2019.06.05 දිනැති, අංක 2126/36 දරණ ගැසට් පත්‍රයෙහි   දැක්වෙන අන්තර් ප්‍රමිතීන් වලට අනුකූලව, අවට ගොඩනැගිලි හා ඒවායේ ජීවත්වන අයට අවම බලපෑමක් වන පරිදි සිදු කල යුතුය.

"කිසියම් නියමිත කර්මාන්තයකින්/ ක්‍රියාකාරකමකින් අන්තරායකාරී අපද්‍රව්‍ය ජනනය කරන්නේ නම්, ඒවා කලමනාකරණය කිරීම සඳහා 2008.02.01 දිනැති, අංක 1534/18 දරණ ගැසට්‍ පත්‍රයට අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයට අමතරව, උපලේඛණගත අපද්‍රව්‍ය බලපත්‍රයක් (Scheduled Waste License) ලබා ගැනීමද නීතිමය අවශ්‍යතාවයකි"

සටහන: බාහිර පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව, කිසියම් ස්ථානයක පිහිටි විශේෂිත කර්මාන්තයක්/ නියමිත කටයුත්තක් සඳහා දැනට බල පවත්වන ඒවාට වඩා දැඩි ප්‍රමිති සහ උපමාණ පැනවීමට ජාතික පාරිසරික පණතේ 12 වන වගන්තිය අනුව, මධ්‍යම පරිසර අධිකාරියට හැකියාව ඇත.

 

නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාදාමය

1 පියවර :පරිසර ආරක්ෂණ බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ ක්‍රියාපිළිවෙල

නියමිත එක් කටයුත්තක් සඳහා නිසි ලෙස සම්පූර්ණ කරන ලද තනි පරිසර ආරක්ෂණ බලපත්‍ර අයදුම්පතක් බැගින්, පහත දක්වා ඇති ලිපිලේඛන වල පිටපත්  සමග වගු අංක 01 හි සඳහන් අදාල ආයතන වෙත ලබා දිය යුතුයි.

 

1.ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය

 

2.අදාල කර්මාන්තය/ නියමිත කටයුත්ත සඳහා ඉඩම භාවිතා කිරීම සඳහා වන නෛතික අවසරය (ඔප්පුවෙහි පිටපත,බදු ගිවිසුමෙහි පිටපත ආදී වශයෙන්)

 

3.අදාල කර්මාන්තය එම භූමියේ ස්ථාපිත කිරීම සඳහා වන වන නෛතික අවසරය (අදාල පළාත් පාලන  ආයතනය මගින් ලබා ගත් අනුකූලතා සහතිකය/ වෙළෙඳ බලපත්‍රය හෝ ලබා ගත් අදාල වෙනත් ආයතන  වල පූර්ව අනුමැතීන් )

 

4.විශේෂිත නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන නිෂ්පාදන සහතිකය (ඉස්කාගාර නිෂ්පාදන,ඖෂධීය නිෂ්පාදන, කෘමිනාශක ද්‍රව්‍ය නිෂ්පාදන ආදිය)

 

5.පරිසර දූෂණය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග

 

6.වගු අංක 01 හි සඳහන් අදාල ආයතන මගින් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටිනු ලබන වෙනත් ලේඛනයක් හෝ විස්තරයක්

 

 

2 පියවර :අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කිරීම

 

- පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට ඇති අවශ්‍යතාව,අයදුම්පතෙහි දක්වා ඇති තොරතුරු වල ඇති නිරවද්‍යතාව සහ අයකළ යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම සඳහා වගු අංක 01 හි සඳහන් අදාල ආයතන මගින් අයදුම්පත පූර්ව පරීක්ෂාවට ලක් කරනු ලැබේ.

- පූර්ව පරීක්ෂාවෙන් සමත් වන අයදුම්පත් පමණක් පියවරට ඉදිරිපත් කෙරෙන අතර අනෙකුත් අයදුම්පත් නැවත පියවර වෙත යොමු කරනු ලැබේ.

 

3 පියවර :අය කල යුතු පරීක්ෂණ ගාස්තුව තීරණය කිරීම

 

-අයදුම් පත්‍රය මඟින්  සපයා ඇති තොරතුරු මත පදනම්ව, අයකල යුතු නියමිත පරීක්ෂණ ගාස්තුව තීරණය කර, වගු අංක 01 හි සඳහන් අදාල ආයතන මඟින් කර්මාන්තහිමියා වෙත දන්වනු ලැබේ.

-එසේ නියම කරනු ලබන ගාස්තුව ,කර්මාන්තහිමියා විසින් වගු අංක 01 හි සඳහන් අදාල ආයතන වෙත ගෙවා ලදු පතක් ලබා ගත යුතුයි.

-එම ලදු පත ඉදිරිපත් කල පසු ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කරනු ලැබේ.

 

4 පියවර : ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කිරීම

 

කර්මාන්ත සම්බන්ධයෙන් අයදුම් පතෙහි සපයා ඇති තොරතුරු වල නිරවද්‍යතාවය හා පරිසර දූෂණය පාලනය කරගනිමින් එවැනි කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාව පරීක්ෂා කිරීමට, වගු අංක 01 හි සඳහන් අදාල ආයතනවල නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක්  පවත්වා නිර්දේශ ඇතුලත් ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාවක් සම්පාදනය කරනු ලැබේ.

 

5 පියවර : නිර්දේශ සහිත පරීක්ෂණ වාර්තාව ඇගයීම

 

-කර්මාන්තය සම්බන්ධයෙන් සිදු කල ක්ෂේත්‍ර පරීක්ෂණ තොරතුරු, අයදුම්කරු විසින් සපයා ඇති තාක්ෂණික වාර්තා සහ සාමාජීය කරුණු මත පදනම්ව පරීක්ෂණ කරන නිලධාරීන් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා දීම/ හඳුනාගත් පරිපාලනමය හෝ තාක්ෂණික ගැටළු වෙතොත් ඒවා අවම කිරීම/ පරිසර ආරක්ෂණ බලපත්‍රය ප්‍රතික්ෂේප කිරීමට අදාල නිර්දේශ ඇතුලත්ව සම්පාදනය කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ වාර්තාව වගු අංක 01 හි සඳහන් අදාල ආයතනවල, බලයලත්  නිලධාරීන් විසින් තාක්ෂණිකව ඇගයීමට ලක් කරනු  ලැබේ.

-ඈ. කාණ්ඩයේ නියමිත කර්මාන්ත / ක්‍රියාවලී සඳහා මෙම වාර්තාව ඇගයීම පිණිස ම.ප.අ. යේ පරිසර නිලධාරියකුගේ සම්බන්ධීකරණය යටතේ වෙනම තාක්ෂණික කමිටුවක් (Tech committee) සෑම පළාත් පාලන ආයතනයක්  සඳහාම  පත්කර ඇත.

-තාක්ෂණික ඇගයීමෙන් පසුව බලපත්‍රය ලබා දිය හැකි නම් නියමිත  බලපත්‍ර ගාස්තුව ගෙවීමට හෝ පරිපාලනමය හෝ තාක්ෂණික ගැටළු වෙතොත් ඒවා නිරාකරණය කිරීමට, වගු අංක 01 හි සඳහන් අදාල ආයතන විසින් කර්මාන්තකරු වෙත දැනුම් දෙනු ලැබේ.

 

6 පියවර  :පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම

 

-බලපත්‍රය ලබා දීම නිර්දේශ කර ඇත්නම් අදාල බලපත්‍ර ගාස්තුව ගෙවන ලෙස වගු අංක 01 හි සඳහන් අදාල ආයතන විසින් කර්මාන්තකරුට දැනුම් දෙන අතර, පරිපාලනමය හෝ තාක්ෂණික ගැටළු කිසිවක් නොමැතිනම්, පරීක්ෂාව සිදු කල දින සිට දින 14 ක් ඇතුලත පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, කොන්දේසි හා වලංගු කාලසීමාව සඳහන් කර අදාල කර්මාන්තය වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම කරනු ලැබේ. තවද සෑම බලපත්‍රයකටම ඊට ආවේනික අනුක්‍රමික අංකයක් සඳහන්ව ඇත.

  පරිසර ආරක්ෂණ බලපත්‍රයක වලංගු කාල හා බලපත්‍ර ගාස්තුව එක් එක් නියමිත කර්මාන්ත/ ක්‍රියාකාරකම් වර්ගය  සඳහා පහත වගුවේ දක්වා ඇත.

නියමිත කර්මාන්ත /ක්‍රියාකාරකම් වර්ගය

කැනීම් නොවන කටයුතු

කැනීම් කටයුතු

බලපත්‍රයේවලංගු කාලය

ගාස්තුව (රු)

බලපත්‍රයේ වලංගු කාලය

ගාස්තුව (රු)

අවුරුදු 1 ක් හෝ ඊට අඩු

15,000

අවුරුදු 3ක් හෝ ඊට අඩු

45,000

අවුරුදු 1 ක් හෝ ඊට අඩු

10,000

අවුරුදු 3ක් හෝ ඊට අඩු

30,000

අවුරුදු 2 ක් හෝ ඊට අඩු

4,000 (සමාන වාරික දෙකකින් ගෙවීම් සිදුකල හැකිය)

අවුරුදු 3ක් හෝ ඊට අඩු

6,000

අවුරුදු 3 ක් හෝ ඊට අඩු

4,500 (සමාන වාරික තුනකින් ගෙවීම් සිදුකල හැකිය)

    -

      -

 

 

 

 

 

 

 

 

                                                                                                 වගු අංක02

 

සටහන: රජය විසින් හෝ රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන රෝහල් වලින් හා කසල කළමනාකරණ පහසුකම් වලින් නියමිත බලපත්‍ර ගාස්තුවෙන් අඩක් පමණක් අයකරනු ලැබේ.

 

7 පියවර  :පරිසර ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම                                                                                                               

- පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු වන දිනට මාස 3 කට ප්‍රථම හා සැපයූ තොරතුරු වල යම් වෙනස් කමක් හෝ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් සිදු කිරීමට ප්‍රථම, පරිසර ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීමේ අයදුම්පත්‍රය වගු අංක 01 හි සඳහන් අදාල ආයතන වෙත යොමු කල යුතුය.

 

-බලපත්‍රය අළුත් කිරීමේ ක්‍රියාවලියේදී පරීක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුව ඇත. පරීක්ෂා කිරීමේදී අදාල කර්මාන්ත / ක්‍රියාවලීන් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර තිබේ දැයි විශේෂයෙන් අවධානය යොමු කරන අතර, උල්ලංඝනය වී ඇත්නම් දෙනු ලබන කාලසීමාවන් තුල එය නිවැරදි කිරීමෙන් පසුව, බලපත්‍රය අළුත් කරනු ඇත. බලපත්‍ර ගාස්තුවේ කිසිදු වෙනසක් නොමැත.

 

- බලපත්‍රය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම/ අළුත්කිරීම ප්‍රතික්ෂේප කිරීම/ අත්හිටුවීම/ අවලංගු කිරීම කර ඇත්නම් ඊට එරෙහිව  දින 30 ක් ඇතුලත පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය 1994.12.20  දින අංක 850/4 දරණ ගැසට් පත්‍රයට අනුව අදාල කර්මාන්තකරු වෙත ඇත. 

8 පියවර :නියමිත කර්මාන්ත / ක්‍රියාවලී සඳහා වන පසුවිපරම් කටයුතු කිරීම

මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි / පිලිගත් රසායනාගාර හා ආයතන මඟින් නිකුත් කරනු ලබන , අප ජල, වායු විමෝචන, ශබ්ද හා කම්පන සඳහා වන තත්ත්ව විශ්ලේෂණ වාර්තා හා අවසාන බැහැර කිරීම් වලට අනුකූලව, නියමිත කර්මාන්ත / ක්‍රියාවලීය තුල ස්ථාපනය කර ඇති පරිසර දූෂණය පාලනය කිරීමේ කටයුතු/ ක්‍රමවේදය මනාව සිදුවන්නේ ද හා නියමිත කර්මාන්ත / ක්‍රියාවලීන් දෙන ලද කොන්දේසි වලට අනුගත වන්නේ දැයි පරීක්ෂා කිරීම පිණිස  නියමිත කාල පරාසයන් තුල පසු විපරම් කටයුතු සිදු කිරීමට පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරන වගු අංක 01 හි සඳහන් අදාල ආයතන කටයුතු කරයි.

9 පියවර :නියමිත කර්මාන්ත / ක්‍රියාවලී වලට එරෙහිව නීතිමය පියවර ගැනීම

පහත අවස්ථා වලදී නියමිත කර්මාන්ත / ක්‍රියාවලී වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කරන වගු අංක 01 හි සඳහන් අදාල ආයතන පියවර ගනු ලබයි.

 

- පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සඳහන් කොන්දේසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන යාම.

- පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන යාම.

 

නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී  පහත දැක්වෙන නඩු නිමිති කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

 

  1. පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරීම/තාවකාලිකව අත්හිටුවීම.
  2. පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට යොමු කර ඇති අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම.
  3. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කෙරෙන අභියාචනා විභාග වල අවසාන තීරණය.
  4. නීතිමය දැනුම් දීම් සිදු කිරීම.

 

 

 

 

 

 

 

 

 

 

Thursday, 25 July 2024 07:03 අවසන් වර ට යාවත්කාල කළ දිනය

නවතම පුවත් සහ තොරතුරු

  • 1
  • 2
ජනාධිපති පරිසර සම්මාන උළෙල 2025 මධ්‍යම පරිසර අධිකාරිය විසින් 11 වන වරටත් සංවිධානය කරනු... තවදුරටත් කියවන්න